ඔබ උපත් පාලනය පිළිබඳ මේ ගැනත් දැනුවත් ද ?

 

ර්තමාන ලෝකේ කසාද බඳින්න ලෑස්ති වෙලා ඉන්න ගෑණු ළමයෙක් විතරක් නෙවෙයි, යොවුන් විය පහුකරන ඕනම ගැහැණු ළමයෙක් වගේම පිරිමි ළමයෙක් වුනත් දැනගන්නම ඕන දෙයක් තමයි උපත් පාලනය කියන්නේ. පොඩි එවුන් හැදෙන්නේ රෝස කැලෙන් කියලා හිතාගෙන ඉන්න ලොකු වුනු බබාලා ඉන්න රටක මේ වගේ දේවල් ඉස්කෝලේ කාලේ ඉඳන්ම උගන්නන්න ඕන තමයි. හරි, ආයෙමත් ටොපික් එකට ආවොත්, ස්වභාවික සහ කෘත්‍රිම කියලා උපත් පාලනය දෙකොටසකට බෙදන්න පුලුවන්. ස්වභාවික ක්‍රමය කියලා මූලිකවම හඳුන්වන්න පුලුවන් වෙන්නේ ආර්තව චක්‍රය ආශ්‍රය කරගනිමින් කරන උපත් පාලන ක්‍රමය. එතකොට නවීන කෘත්‍රිම උපත් පාලන ක්‍රම සලකලා බැලුවොත්, කොන්ඩමයන්ගේ ඉඳන් උපත් පාලන පෙති, ලූප්, ඩයප්‍රම්, ඉම්ප්ලාන්ට්ස් විතරක් නෙවෙයි, වාසෙක්තමී සහ ටියුබෙත්මී සැත්කම් දක්වා පෙළගස්වන්න පුලුවන් උපත් පාලන ක්‍රම ගණනාවක්ම තියෙනවා. ඒ ඒ අයට ඒ ඒ අවශ්‍යතාවයන්ට අනුව, ඒ ඒ කැමති අකමැති දේවලට අනුව පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි අපි කතා කරන්න යන්නේ උපත් පාලන පෙති ගැන විතරයි. මොකද ඒක ලංකාවේ බහුලව පාවිච්චි වෙන නිසා. කොහොමත් උපත් පාලන පෙති (birth control pills) කියනවට වඩා ගොඩක් දෙනෙක් මේවා ගැන දන්නේ “මිතුරි” පෙති කිව්වහම තමයි.


 


1. මොකටද දැන් මේ පෙති පාවිච්චි කරන්නේ?


birth control pills 

Source – quora.com

සරලවම කියනව නං උපත් පාලන පෙති පාවිච්චි කරන්නේ උපත් පාලනයට. ඒ කියන්නේ බබාලා හම්බ නොවෙන්න. ගිලින්න තමයි තියෙන්නේ. සමහරු කියනවා ඉතින් ඔය කුරුලෑ එහෙම පාලනයටත් උපත් පාලන පෙති පාවිච්චි කරන්න පුලුවන්ලු. හැබැයි අපේ උපදෙස තමයි, පවුලේ ඩොක්ටර්ගෙන් හරි මිඩ්වයිෆ්ගෙන් හරි අඩු තරමේ වෙනත් මේ ගැන හොඳින් දන්න කෙනෙක්ගෙන් හරි උපදෙස් නොගෙන උපත් පාලන පෙති පාවිච්චි කරන්න එපා කියන එක තමයි. මොකද ඔළුව කැක්කුමට පැනඩෝල් එකක් බොනවා වගේ සීන් එකක් නෙවෙයි උපත් පාලන පෙති ගන්න එක. හරි ක්‍රමයට පාවිච්චි නොකලොත් මේකෙන් ඇති වැඩක් නෑ වගේම අතුරු ආබාධත් එන්න පුලුවන්.


 


2. කොහොමද මේ උපත් පාලන පෙති (birth control pills) වැඩ කරන්නේ?


birth control pills

Source – slate.com

මේක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් මොනවද මේ උපත් පාලන පෙති( birth control pills ) කියන එක. සරලවම මෙහෙමයි. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් දෙකම අඩංගු කම්බිනේෂන් පිල්ස් තියෙනවා. ප්‍රොජෙස්ටරෝන් විතරක් තියෙන පිල්ස් වුනත් තියෙනවා. මිතුරි කියන්නේ ඒකට උදාහරණයක්. කම්බිනේෂන් පිල්ස් වල තියෙනවා දවස් 21 ට ගන්න පිල්ස් සහ දවස් 28 කට ගන්න පිල්ස්. දැන් තේරෙනවා ඇති මේවායේ තියෙන්නේ හෝර්මෝන් කියලා. මේවායින් කරන්නේ ඇ‍ඟේ තියෙන ස්වභාවික හෝමෝන චක්‍රයට බලපෑමක් කරලා ගැබ් ගැනීමක් වැළැක්වීම.


 


3. කොහොමද උපත් පාලන පෙති බොන්නේ?


birth control pills

Source – divany.hu

සාමාන්‍යයෙන් මිතුරි පෙති ගැන සැලකුවොත් මේ පෙති පැකට් එකක පෙති 28 ක් තියෙනවා. ඒ කියන්නේ කාන්තාවකගේ සාමාන්‍ය ඔසප් චක්‍රයේ දින ගණනට අනුව තමයි මේ පෙති පෙලගස්වලා තියෙන්නේ. ඕන නං පැකට් එකේ පිටිපස්සේ පෙති ගන්න ඕන විදියත් දක්වලා තියෙනවා. පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් නැත්තං පවුලේ වෛද්‍යවරයාගෙන් ඇහුවොත් කියයි මේ පෙති ගන්න ඕන හැම දවසකම එක වෙලාවක කියලා. දින දර්ශනයක සටහන් තියාගනිමින් බොන්න පුලුවන් නං අමතක වීම් මග හරවා ගන්නත් හැකියි.


බොන ක්‍රමේ අමුතු දෙයක් නෑ. දවසේ එකම වෙලාවකදී එක පෙත්ත ගානේ බොන්නයි ඕන. ‍රැට ගන්නවා නම් ඉතින් වඩාත් ලේසියිනේ. අමතක නොකර හැමදාම බොන එක වැදගත්. වැරදිලාවත් එක දවසක් අමතක වුනොත් එහෙම ඊට පහුවදා පෙති දෙකක් බොන්න කියලා ඔය පෙති පැකට් එක පිටිපස්සේ හරි ඒක එක්ක එන ඖෂධ පත්‍රිකාවේ සඳහන් වෙලා ඇති. හැබැයි එහෙම අමතක වුනොත් දවසක් දෙකක් කොන්ඩමයක් වගේ වෙනත් ක්‍රමයක් පාවිච්චි කරන එක වඩාත් පරිස්සමට හොඳයි.


පටන් ගන්න පුලුවන් ඕනම දවසක. ඔසප් වීම ඇරඹිලා නම් පළමු දින පහ ඇතුළත පළමු පෙත්ත අරගන්න එක හොඳයි. හැබැයි පෙති පාවිච්චි කරන්න පටන් අරන් මුල් දවසේ ඉඳන් දවස් හතක්වත් යනකල් ලිංගික සංසර්ගයේදී කොන්ඩම් භාවිතා කරන්න කියලා තමයි අවවාද කෙරෙන්නේ. ගොඩක් වෙලාවට විවාහ වෙන්න ඉන්න තරුණියකට නම් ගැබ් ගැනීම ප්‍රමාද කිරීම වෙනුවෙන් මාස එකහමාරකට හරි දෙකකට හරි කලින් පෙති පාවිච්චිය පටන් ගන්න කියලා තමයි උපදෙස් දෙන්නේ.


 

අනිවා Modern Lifestyles එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂


4. ඕන කෙනෙක්ට උපත් පාලන පෙති බොන්න පුලුවන්ද?


Source – naturalon.com 

බැහැ. හැම කෙනෙක්ටම උපත් පාලන පෙති හරියන්නෙ නෑ. අපි කිව්ව නේද වෛද්‍යවරයෙක් හරි පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හරි හම්බුවෙලා උපදෙස් ගන්නවනම් හොඳයි කියලා. ඒ කිව්වේ මේ වගේ දේවල් නිසා තමයි. හෘද රෝගවලින් පෙළෙන කාන්තාවන්ට, ඉරුවාරදයෙන් හා අධි රුධිර පීඩනයෙන් පෙළෙන කාන්තාවන්, අධික තරබාරුව තියෙන අය උපත් පාලන පෙති ලබා ගන්න එක සුදුසු නෑ. අක්මා වලින්, පියයුරු පිළිකාවලින් පීඩා විඳින කාන්තාවන්ටත් මේවා සුදුසු නෑ. සමහර කාන්තාවෝ විවිධ රෝගාබාධ වලට දිගුකාලීන ඖෂධ භාවිත කරනවා. පවුල් සංවිධාන පෙතිවල ක්‍රියාකාරීත්වයට බාධා ගෙන දෙන ඖෂධ දිගු කාලීනව භාවිත කරන කාන්තාවන් මෙම පෙති ප්‍රයෝජනයට ගැනීමත් සුදුසු නෑ කියල තමයි කියවෙන්නේ. දැනටමත් ගර්භනී තත්ත්වයේ ඉන්නා කාන්තාවන්, වයස අවුරුදු 35 ට වැඩි කාන්තාවන්, කිරි දෙන මව්වරුන් සහ යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධීර වහනයන් ඇති කාන්තාවන් එහෙමත් උපත් පාලන පෙති (birth control pills) වලින් පොඩ්ඩක් පරිස්සම් වෙන එක හොඳයි. කරන දෙයක් ඩොක්ටර්ගෙන් අහලා කරහම වැඩේ ඉවරයි.


 


5. මොනවද මේ උපත් පාලන පෙති පාවිච්චියේ තියෙන වාසි?


ලොකුම වාසිය තමයි මේ ක්‍රමයේ තියෙන පහසුව. දරුවෙක් ඕනෑයි කියලා හිතපු දවසක නවත්තලා දාන්න පුලුවන්. ඒකෙන් පිළිසිඳ ගැනීමේ හැකියාවටවත්, ලිංගික ක්‍රියාවලියටවත් කිසිම කරදරයක්, බාධාවක් නෑ. ඒ වගේම තමයි හරිම පහසු ක්‍රමයක් වීමත් ලොකු වාසියක්. ඕනෑම ෆාමසියකින් ලබාගන්න පුලුවන් වීමත්, මිලෙන් අඩු වීමත් මේකේ තියෙන තවත් වාසි විදියට දක්වන්න පුලුවන්.


ඒ වගේම තමයි ඉතාමත් සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක් විදියට උපත් පාලන පෙති හඳුන්වනවා කියලත් කියන්න ඕන. මේ පෙති ගන්නකොට ඔසප් චක්‍රය වුනත් ක්‍රමවත් වෙනවා. මාසික ඔසප් වීමත් එක්ක එන උදර වේදනාව වගේම රුධිර වහනයත් අඩු වෙනවා. කාන්තාවන්ගේ පියයුරු ආශ්‍රිත යම් යම් රෝග තත්වයන් වගේම ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිළිකාත් සෑදීමත් අඩු වෙනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. කුරුලෑ (acne) හැදෙන එක අඩු වෙනවා. ඔක්කොටම වඩා ලිංගික සංසර්ග ක්‍රියාවලියට කිසිමාකාරයක බලපෑමක් හරි අපහසුදායක තත්වයක් හරි ඇති නොකරන එකත් ලොකු වාසියක්නේ.


 


6. මොනවද හැදෙන්න පුලුවන් අතුරු ආබාධ?


birth control pills

Source – youtube.com

 


උපත් පාලන පෙති පාවිච්චි කරනකොට තාවකාලික අපහසුතා නං ඇතිවෙනවා කියලා තමයි කියන්නේ. ඒත් ඉතින් මේවා ඇඟට හානිකර දේවල් නෙවෙයි. ගොඩක් වෙලාවට මේ අපහසුතා මාස දෙක තුනක් පෙති ගන්නකොට අඩු වෙලා යනවා. වමනය, හිසරදය, කැරකැවිල්ල, පියයුරුවල වේදනාව සහ ඔසප්වීම් අතරතුරදී මඳ වශයෙන් රුධිර වහනය වෙන්න පුලුවන් වීම තමයි ඔය තාවකාලික අපහසුතා කියල කිව්වේ. සමහර අය කලාතුරකින් උපත් පාලන පෙති පාවිච්චිය නිසා පොඩ්ඩක් මහත් වෙන්නත් ඉඩ තියෙනවා, තාවකාලිකව. එතකොට පුලුවන් තරම් රෑ වෙලා, හරිනං නින්දට යන්න කලින් මේ උපත් පාලන පෙති ගන්න කියන්නත් හේතුවක් තියෙනවා. ඒ තමයි ඒ වෙලාවට පෙති ගැනීමෙන් බඩ දඟලන ගතිය, ඔක්කාරය අඩු වෙන එක. කොහොම වුනත් මේ අතුරු ආබාධ හින්දා පෙති ගන්න එක නතර කරන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ. මේ අමාරුව තියෙන්නේ මුල් කාලේදී විතරයි. පස්සේ මේවා අඩුවෙනවා.


උපත් පෙති ගන්න අයගෙන් කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් කම්ප්ලේන් කරනවා සෙක්ස් වලට තියෙන උනන්දුව අඩු වෙලා කියලා. හැබැයි අමතක කරන්න එපා, සෙක්ස් වලට තියෙන උනන්දුව උපත් පාලන පෙති (birth control pills) ගත්තට පස්සේ වැඩිවෙලා කියලා කියන අය ඊට වඩා ඉන්නවා!